Monday, March 14, 2016

Virtual Reality (VR) යනු කුමක්ද ?



පරිගණක තිර, 3D තාක්ෂණය හා ප්‍රබල අධි විභේදන කැමරා පද්ධති නිසා දෘශ්‍ය තාක්ෂණය වර්තමානයේදී ඉතා ඉහළ ස්ථානයකට පැමිණ ඇත. මෙවර අප අවධානය යොමු කරන්නේ බොහෝ දෙනෙක් අසා ඇති, එහෙත් පැහැදිලි අදහසක් නොමැති තාක්ෂණික ක්‍රමවේදයක් වන Virtual Reality පිළිබඳවයි. Virtual යන ඉංග්‍රිසි වචනයේ තේරුම ආනත්‍ය’, ‘අනාර්ථහෝ මවන ලදයන්නට සමාන වන අතර, Reality යන්නෙහි අරුත වන්නේ සැබෑවහෙවත් යාථාර්තයයන්නයි. එබැවින් Virtual Reality යන්නෙහි පරිවර්තිත අර්ථය ලෙස මැවූ යථාර්තයහෝ අනත්‍ය යථාර්තයයන්න හඳුන්වාදීමට හැකි වුවත් අපි වඩාත් පහසු VR (වී.ආර්.) යන වදන භාවිතා කරමු. වි.ආර්. කියූ සැණින් අපගේ සිහියට නැගෙන්නේ අමුතුම ආකාරයක හෙල්මටයක් පැළඳ අවකාශයේ අමුතු ආකාරයේ චලනයන් වලට දෑත් මෙහෙයවන පුද්ගලයෙකි. සැබවින්ම ඔබේ චිත්ත රූපය එතරම් වැරදි නැත. කෙසේ වුවද වී.ආර් හි ඔබ සිතනවාටත් වඩා ප්‍රායෝගික ප්‍රයෝජන ඇති බව ඔබට පසුව වැටහෙනු ඇත.

වි.ආර් හි පළමු පදනම වන්නේ දෑස් ආවාරණය වන ලෙස පළඳින කණ්ණාඩි (VR Goggles) පද්ධතියයි. එයට පරිගණකයක් සම්බන්ධිත අතර, පරිගණකය හරහා මවන ලද ත්‍රිමාණ ලොවක් හෝ අනුරුවක් කණ්ණාඩි වලට සම්ප්‍රේෂණය කෙරේ. මෙම කණ්ණාඩි සැබවින්ම ඇස් දෙකට වෙන වෙනම නාභිගත වූ දර්ශන තිර දෙකක් වන අතර, පරිගණකයෙන් මැවූ ලොව හෝ රැව දෑසට වෙන වෙනම ලබාදීමෙන් එය ත්‍රිමාණ බව මොළයට දැනුම් දෙයි. එසේම කණ්ණාඩි වල ඇති සංවේදක මගින් ඔබේ හිසේ හා සිරුරේ චලන නිරීක්ෂණය කරන බැවින් ඔබ වස්තුවක් වෙතට පිය මනින විට එය විශාල වීම හා ඔබ හැරෙන දිශාවට අනුව ශබ්දය වෙනස් කිරීම වැනි දේ නිසා සුළු වේලාවකදීම ඔබ සිටින්නේ සැබෑ ලොවක යැයි ඔබේ මොළය තීරණය කරයි. වී.ආර් කණ්ණාඩි පද්ධතියක් බොහෝ විට සකසන්නේ ඔබේ දෑසට බාහිර වටපිටාව නොපෙනෙන ආකාරයට බැවින් ඔබට දර්ශනය වන්නේ පරිගණකයෙන් මවන ලද ලොව පමණකි. එහි earphone පද්ධතිය මගින් බාහිර ලොව ශබ්ද සංජානනය ඔබේ සවනෙන් දුරස් කරන බැවින් ඔබට ඇසෙන්නේ මැවූ ලොවෙහි ඇති ශබ්ද පමණකි. එබැවින් මැවූ ලොව සැබෑ ලොවක් යන මුලාවට මොළය යටත් වීම පුදුමයක් නොවේ.

සමහර වී.ආර් උපාංග සමග පැළඳිය හැකි උපාංග හෙවත් අත්වැසුම් (VR Gloves) වැනි උපාංගද සම්බන්ධිතය. මෙමගින් ඔබට මැවූ ලොව ඇති යම් යම් දේ ස්පර්ශ කිරීමට හැකියාව ලැබේ. උදාහරණ ලෙස වී.ආර් අත්වැසුම් මගින් මවන ලද ලොවෙහි රූපවාහිනියක් ක්‍රියාත්මක කිරීමට ඔබට හැකිවනු ඇත. වත්මන් වී.ආර් උපාංග වල තාත්ත්විකත්වය ඉතාමත් ඉහළය. එමගින් පුද්ගල මානයට හා ශාරීරික උත්තේජයන්ට බැලපෑම් කිරීමට හැකිය. උදාහරණ ලෙස ක්ෂණිකව ගින්නක් හෝ ප්‍රපාතයකට ඇද වැටීමක් වැනි උද්වේගකර දසුනක් වී ආර් මගින් අත්විඳි පුද්ගලයෙකුගේ හෘද ස්පන්දනය හා ශරීර ක්‍රියාකාරීත්වය වර්ධනය කරන ඇඩ්‍රිනලින් පරිමාව ඉහළ යන වග පරික්ෂණ වලින් හෙළි වී ඇත. Virtual Reality තාක්ෂණය පරිගණක ක්‍රිඩා සඳහා යොදාගත හැකි අවස්ථා ඇති බව සැබෑය. එමගින් ක්‍රිඩකයාට අමතක නොවන ගණයේ ක්‍රිඩා අත්දැකීමක් ලබාදෙනු නියතය. නමුත් වී.ආර් හි ප්‍රයෝජන සීමා වන්නේ පරිගණක ක්‍රිඩා සහ හුදෙක් විනෝදාස්වාදය සඳහාම පමණක් නොවේ.

ඉතාමත් හොඳ ඉගැන්වීමේ ක්‍රමවේදයක් ලෙස වී.ආර් තාක්ෂණය හඳුන්වාදීමට විවිධ ආයතන කටයුතු කරති. දරුවන්ට ලෝක යුද්ධ අතරට ඇවිද ගොස් එය විඳ ගැනීමට, ක්ෂුද්‍ර ජිවියෙකුගේ සිරුර තුළට හෝ ශාකයක සෛලයක් තුළට ගමන් කිරීමේ හැකියාව අනත්‍ය යථාර්තය හරහා ලබාදීමට හැකිය. ලොවපුරා දියුණු රටවල ගෘහ නිර්මාණ ශිල්පීන් හා මෝටර් රථ නිර්මාණ ශිල්පීන් වැනි නිර්මාණ කරුවන් ඉතාමත් මූලික මට්ටමේ වි.ආර් උපාංග භාවිතා කරමින් සිය නිර්මාණ තුළට පිවිසීමේහැකියාව තම පාරිභෝගිකයාට ලබාදෙති. මනෝ විද්‍යාඥයින් හා මනෝ වෛද්‍ය වරුන් විවිධ භිතිකා ඇති මානසික රෝගීන් හා කම්පනයට පත් වී සිටින සෙබලුන් වැනි පුද්ගලයින්, එම බියජනක හෝ කම්පනීය මානසික තත්ත්ව වලින් මුදවා ගැනිමට වී.ආර් තාක්ෂණය භාවිතා කරනු ලබන අතර, ශල්‍ය වෛද්‍යවරුන් විවිධාකාර සැත්කම් සිදුකිරීමට පුහුණු වීමේ මාධ්‍යයක් ලෙස වී.ආර් තාක්ෂණය භාවිතා කරති. ක්‍රීඩකයන්, සෙබලුන්, ගිනි නිවන භටයන්, රියදුරන්, ගුවන් නියමුවන් හා ගගනගාමීන්ට ඉතා තාත්ත්වික සිදුවීමට හැකි සියලුම තීරණාත්මක අවස්ථා හා සිද්ධීන් පිළිබඳ පුහුණුවක් ලබාදීමට මේ වනවිට ලොවපුරා ප්‍රමුඛ පෙලේ ආයතන රාශියක් විවිධාකාර වි.ආර් පද්ධති භාවිතා කරති.

වැඩිදියුණු වන පරිගණක තිර, දර්ශන පටිගත කිරීමේ තාක්ෂණය හා ත්‍රිමාණ සජිවිකරණ තාක්ෂණයත් නිසා අනත්‍ය යථාර්තය හෙවත් Virtual Reality හි සංවර්ධන වේගයද දිගු පිමි පනිමින් ඉදිරියට යනු ඇත. මේ වනවිටද වෙළෙඳපොළට පිවිසී ඇති Oculus Rift, Samsung Gear VR, ARCHCS VR වැනි උපාංග දකින විටම මෙය සත්‍ය කරුණක් බව පැහැදිලි වේ. මෙම දියුණුවත් සමගම වී.ආර් තාක්ෂණය හරහා ලබාගැනීමට හැකි විනෝදාස්වාදය සම්බන්ධ ප්‍රයෝජන මෙන්ම අනෙක් වටිනා ප්‍රයෝජනද තව තවත් වැඩිවනු නියතය.

No comments:

Post a Comment