Showing posts with label සංචාරක. Show all posts
Showing posts with label සංචාරක. Show all posts

Monday, October 22, 2018

මහ එළිය හෙවත් හෝටන් තැන්න


1833 දී පමණ ඉංග්‍රීසි ජාතික කපිතාන් විලියම් පිෂර්, කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනා විසින් පිදුරුතලාගල මුදුනේදී ඉතාමත් සුන්දර තැනිතල භූමියක් දැක එය සොයා ගමන් කර තිබෙනවා. මේ අනුව තමයි මොවුන් දෙදෙනා මහ එළිය නම් අපූරු බිම්කඩ සොයාගන්නේ. අඩි 4000ක පමණ ප්රපාතාකාර බෑවුමකින් සහිතවා මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්යම කදුකරයේ පිහිටා ඇති මෙයට හෝටන් තැන්න යන නාමය ලැබී ඇත්තේ ඒ කාලේ සිටි රොබට් හෝර්ටන් ආණ්ඩුකාරවරයා මෙහි  සංචාරය කළ පසුවයි. පසුව මෙය සුද්දන්ගේ ගෝනුන් දඩයම් කරන බිමක් වශයෙන් ජනප්‍රිය වුණා. එංගලන්තයට සමාන දේශගුණයක් මෙහි පැවතීම නිසා මෙම බිම්කඩට ඔවුන් ඉතා ප්‍රිය කළා. මෙම බිම්කඩට නම ලැබීම පිළිබදවද ඉතා රසවත් අතීත කතාවක් පවතී,රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන විත් දඬු මොනරය ගොඩ බැස්වූ ස්ථානය තොටුපළ කන්ද ලෙස හදුන්වන බව ද, ඒ ගොඩ බැස්වීමේදී නිකුත් වූ මහා ආලෝක ධාරාව නිසා එය දිස් වූ අවට ප්‍රදේශය මහ එළිය නමින් හඳුන්වන බව ද හෝර්ටන් තැන්න ගැන ජන වහරේ ඇති කතා වල දැක්වේ.

මහ එළිය හෙවත් හෝටන් තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්යානයකි.  මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්යානය ශ්රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්යානය ලෙස 1969 දී මෙය නම්කළ අතර ම නොයෙක් විද්වතුන් ‍මෙය විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. එල්.සී කුක් (1930)නිරක්‍ෂිය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩයට ද, චැමිපියන් (1936) කදුකර වනාන්තර ලෙසට ද, චැප්ටන් (1947) නිවර්තන සදා හරිත වනාන්තර ලෙසට ද හදුන්වා ඇත. මීට අමතරව මෙය ලංකාවේ පිහිටි උසම තැනි තලා භුමිය ද වේ.

මෙහි වනාන්තරය දෙස අවධානය යොමු කළ හොත් එම වනාන්තර කුරු වනාන්තර වල ස්වභාවය දරයි. එය එසේ වී ඇත්තේ එම ප්‍රදේශයේ ඇති දැඩි සුළඟට ඔරොත්තු දිය හැකි වන පරිදිය. විශේෂයෙන් ජූනී මාසය වන විට පැයට කිලෝ මීටර 31 ක පමණ වේගයෙන් සුළඟ හමන බව පැවසේ. මෙහි ශාක සාමාන්‍යයෙන් මීටර 12-15 ක් පමණ උසට වැඩෙන අතර ගස් මුදුන කුඩයක හැඩයන් ගනු ලබයි.1992 දී සිදුකරණ ලද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත. ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒ වාය. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස වල් කදුරු (innamounonalifolium) හඳුන්වන අතර ඇතැමුන් දඹ (Syzygium ravolutum) යැයි පවසති. හෝටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංඛ්‍යාව 2.861 කි. මෙහි පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත.

හෝටන් තැන්න පිළිබඳ ව කරන ලද පුරාවිද්යාත්මක පර්යේෂණ දෙස අවධානය යොමු කළහොත් 1992 අරබණ ලද පර්යේෂණවලදී හෝටන් තැන්නේ අතීත පාරිසරික තත්වය ,දේශගුණික තත්වය ,හා පැළෑටි වල ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කර තිබුණි.කැළණිය විශ්ව විද්යාලයේ පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනයේ ස්වීඩනයේ ස්ටොන්හොම් විශ්ව විද්යාලයේ චතුර්තක භූ ගර්භ විද්යා ආයතනය හා උත්සලා විශ්ව විද්යාලයේ විද්වතුන් එකතු ව මෙම පර්යේෂණ සිදු කරන ලදි. ජ්යේෂ්ඨ කථිකාචාර්ය ප්රේමතිලක මහතා සඳහන් කරන ආකාරයට මෙහි දී සොයා බලන ලද්දේ ලෝකයේ අවසාන ම අයිස් යුගයේ එනම් ප්ලයිස්ටොසීන යුගයේ ලංකාවේ පැවති පාරිසරික තත්වය පිළිබඳවයි. මෙහිදී අනාවරණය කර ගත් තොරතුරු අතර වසර 20000 කට පමණ පෙර ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල ස්වභාවය මීවනශාක වල තත්වය මිනිසා ඇසුරේ වැඩුණ ශාක ක්රි.පූ.8000 තරම් ඈත යුගයේ වගා කටයුතු ආදිය පිළිබඳව ලත් තොරතුරු ලක් ඉතිහාසයට වැදගත්ය. මෙහි දක්නට ලැබෙන යෝධ මී වන හා මහ රත් මල ඉතා ඈත අතීතයේ සිටම පැවති ඒ වාය. එමෙන්ම මීට වසර 9000 කට පමණ පෙර පරිසර උශ්නත්නය ඉහළ යාම නිසා වර්ෂාපතනය අධික වී විවිධ ස්ථානවල ඇති වූ ජලාශ හෝටන් තැන්නේ ද ඇති වූ බව සොයා ගැනුණී.මෙහි මධ්ය ශිලා යුගයේ (Mesolithc Man)මානවයා වාසය කළ බවත් ඔවුන් කෘෂිකාර්මික යුගයට පරිවර්තනය වූ බවත් මේ ආශ්රිතව කෙරුණ පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.

ලෝක උරුමයක් මෙන්ම ඉතාමත් වැදගත් පාරිසරික පද්ධතියක් වන හෝර්ටන් තැන්න රැකගැනීම දේශීය මෙන්ම විදේශීය සංචාරයකයන්ගේද වගකීමයි. දිනකට විශාල පිරිසක් හෝර්ටන් තැන්නේ සංචාරය කරන හෙයින් අපද්‍රව්‍ය බැහර කිරිමේදී වැඩි වශයෙන් අවධානය යොමුකළ යුතුයි. හෝර්ටන් තැන්නට පිවිසීමේදී පොලිතින් මෙන්ම ප්ලාස්ටික් රැගෙන වනෝද්‍යානයට ඇතුළත් වීම තහනම් වන හෙයින් එම නීතිරීති අකුරටම පිළිපැදීම වගකිවයුතු සංචාරකයෙකු වශයෙන් ඔබ සිදුකළ යුතුම කාර්යයක්ද වෙනවා.එමගින් මෙවන් වටිනා උරුමයන් අපගේ අනාගත පරපුරත් සුරක්ෂිතව දැකබලා ගැනීමට අවස්ථාව උදාවෙනු ඇත.